Tuesday, October 20, 2020

 නූතන ටෙලි නාට්‍ය කරණය සහ ලාංකික සමාජය


ජනතාවගේ පොදු ජන ජිවිතට ලං වුණු කලා මාධ්‍යයක් ලෙස ටෙලි නාට්‍යය හැඳින් විය හැක.ඊට හේතුව වන්නේ මෙරට ළමා පරපුරේ සිට වැඩිහිටි පරපුර දක්වා සිය දෛනික කාලයෙන් වැඩි කොටසක් ටෙලි නාට්‍ය සඳහා වෙන් කරන බැවිනි.එබැවින් ටෙලි නාට්‍යය තුළින් සමාජයට සිදු කළ හැකි බලපෑම අති මහත් ය.නමුත් මෙම බලපෑම කොතෙක්ද යන්න සහ කොයි ආකාරයෙන්ද යන්න තවමත් විධිමත් සමීක්ෂණයක් සිදු වී නොමැත.ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ වින්දනය පමණක් නොව ජීවිතයට ගත හැකි අත්දැකීම් ආදර්ශයන්ද එ තුළින් බලාපොරොත්තු වේ.නමුත් නූතන ටෙලිනාට්‍ය තුලින් වින්දනය හැර අනෙක් ගුණාංග හිමි වන්නේද යන්න යන්න ගැටළුවක් පවතී.එයට හේතුව වන්නේ නූතන ටෙලි නාට්‍ය කලාව තුළ ප්‍රමිතියක්,නියාමනයක් සහ විචාරයක් නොමැති වීම ය.රූපවාහිනි නාලිකා අතර පවතින තරඟකාරිත්වය හේතුකොටගෙන ජනප්‍රිය රැල්ලේ නිර්මාණ බිහි වනවා විනා හරවත් නිර්මාණ බිහිවිම දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.එ බැවින් ටෙලි නාට්‍ය තුළින්  හිමිවිය යුතු ගුණාංග ප්‍රේක්ෂකයා වෙත ළඟා නො වෙයි. චීනය,කොරියාව,ජපානය වැනි රටවල් ටෙලි නාට්‍ය මගින් එම රටවල ජනතාවගේ රසඥතාව ඉහළ මට්ටමක තැබීමටත් පුද්ගල ජීවිතයේ පරිඥානය පුළුල් කිරීමටත් දායක වන බව එම ටෙලි නාට්‍ය දෙස බැලීමේ දී පැහැදිලි වේ. නමුත් මෙම ප්‍රමිතිය මෙරට ටෙලි නාට්‍ය තුළින් මගහැරී පවතින්නේ මෙරට රූපවාහිනී නාලිකා සම්භාව්‍ය ටෙලිනාට්‍යවලට වඩා වාණිජමය මට්ටමේ ටෙලි නාට්‍ය කෙරෙහි වැඩි ඉඩකඩක් ලබා දෙන බැවිනි.

වර්තමානයේ අප අත්දකින ටෙලි නාට්‍ය බොහොමයකට වස්තු විෂය වී ඇත්තේ යෞවන යෞවනියන්ගේ බොළඳ ප්‍රේමයයි.දැන් එය ද ප්‍රේම රැල්ලක් වී හමාර ය.එම නාට්‍යවල දෙබස් බොළඳ ය. නාට්‍යවල රඟපෑමට දැකිය නොහැකිය. සිදුවන්නේ දෙපැත්ත කැපෙන දෙබස් කිහිපයක් කීයා තිරයෙන් බැහැරට යාම පමණි. එක්තරා නාලිකාවක විකාශනය වූ පාසල් ප්‍රේමයක් පදනම් කරගත් නාටකයක් ජනප්‍රියවීමත් සමඟ අනෙක් නාලිකා ද  එක පොකුරට පාසල් ප්‍රේමය මූලික කරගනිමින් නාට්‍යය නිර්මාණය කිරීම ආරම්භ කෙරිණි.මෙවැනි නාට්‍ය තුළින් සමාජයට ගතහැකි ප්‍රයෝජනයක් නොමැත ඉන් සිදු වූ එකම දේ වන්නේ පාසල් වයසේ දරුවන් පාසල් ප්‍රේමයන් ඇති කරගැනීමට යොමු වීම පමණි.එවැනි වාණිජ මේ නාට්‍යවල යම් හෙයකින් චරිතයක් ජනප්‍රිය වුවහොත් සමස්ත නාට්‍ය පුරාවට ම ඔහුගෙන් ගොඩ යෑමට උත්සාහ දරයි.එවැනි අවස්ථාවලදී කතාවේ රචකයට  පවා කතාව අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි තීරණය කළ නොහැක. 

එමෙන්ම මෙරට ටෙලි නාට්‍ය කරන තුළ වසර කිහිපයක සිට ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය හා ඉන්දියානු ටෙලි නාට්‍ය අනුකරණවාදී රැල්ලක් නිර්මාණය විය.මෙම  ටෙලිනාට්‍යවලට පිටපතක් නොමැත අධ්‍යක්ෂවරයාට හැඟෙන පරිදි කතාව ඔහේ ගලා යාමට සලස්වයි.නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා තුළ ද නාට්‍ය පිළිබඳ අදහසක් නොමැත.ඔවුන් මෙම නාට්‍ය නිර්මාණ නරඹන්නෙ එහි සිටින හුරුබුහුටි ළමා චරිතයන් වලට වහවැටී නැතිනම් එහි ඇති බොළඳ ප්‍රේම ජවනිකා නිසාය.ඉන්දියානු මෙගා නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා වෙත ලබාගත හැකි ආදර්ශයක් නොමැත.ඒවා තුළින් විද්‍යාමාන වන්නේ වෛරය,පලි ගැනීම්,වංචාවන් ,මිනීමැරුම් හා දික්කසාද ආදිය යි. ඇතැම් නාට්‍යවල සංවාද පවා ඉතා අප්‍රසන්න ය.ඇතැම් නාට්‍යවල දර්ශන දකින විට පුටුවෙන් නැගිට යාමට පවා සිතේන තරම් ය.එබැවින් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි නාට්‍ය ඇති අතලොස්සකි.මේවා තුළින් ඇතිවන්නේ සමාජ විකෘති භාවයන් පමණි.වර්තමාය වන විට ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රේක්ෂක ජනතාවකගේ හද බැදගත් ටෙලිනාට්‍ය බවට මෙ ඉන්දියානු ටෙලිනාට්‍ය පත්ව හමාරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වර්තමාන ලංකාවේ තරුණ තරුණියන් විළි වසා ගන්නේ ද  ඉන්දියානු ක්‍රමයට ය.හොඳම කරුණ නම් අලුත උපදින දරුවන්ට පවා නම් තබන්නේ ඉන්දියානු ක්‍රමයට ය.එබැවින් ඉන්දියානු ටෙලි නාට්‍ය මෙරට සංස්කෘතියට පවා බලපෑම් කිරීමට සමත්ව තිබේ.

ඉන්දියානු ටෙලිනාට්‍ය මෙරටට ගෙන්වා ප්‍රදර්ශනය කරනු පමණක් නොව පෞද්ගලික නාලිකා ඉන්දියානු ටෙලිනාට්‍ය අමු අමුවේ අනුකරණය කරමින් දේශීය නළු නිළියන් යොදා ගනිමින් මෙගා ටෙලි නාට්‍ය රැල්ලක් ජනතාවට ප්‍රදර්ශන කරයි.මෙම නාට්‍ය නාට්‍යය සමාජයෙන් ප්‍රතික්ෂේප වීම වලක්වා ලීම සඳහා පෞද්ගලික නාලිකා ජනතාවට මුදල් ලබාදීමේ වැඩ සටහන්  නිර්මාණය කරයි.ඒ තුළින් සමාජය මෙවැනි නාට්‍ය නැරඹීමට පෙලඹවීමක් ඇති කරයි.

මේ ආකාරයට ප්‍රමිතියකින් තොර ටෙලිනාට්‍ය නිර්මාණය වීමට හේතු වන්නේ මෙරට නාලිකා තුළ නිසි නියාමනයක් නොමැතිවීම ය.මේ පිළිබඳ ව  මෙරට සංස්කෘතික භාර හෝ ජනමාධ්‍ය භාරව සිටින කිසිවෙකුට වගකීමක් නොමැත.ඔවුන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරනවා විනා සමාජයට උසස් රසවින්දනය යුක්ත නිර්මාණ බිහිකිරීමටත් සමාජයේ විකෘති වන ආකාරය ටෙලි නාට්‍යය බැහැර කරලීමටත්  කටයුතු නොකරයි.එමෙන් ම මෙරට කලාකරුවන්ගේ සංවිධානය පැවතිය ද ඒවා ක්‍රියාත්මක වන්නේ කලාව වෙනුවෙන් නොව විවිධ  දේශපාලන අරමුණු වෙනුවෙන් ය.එබැවින් සමාජයට සිදු වී ඇත්තේ හොඳ නිර්මාණ කවරේදැයි තමා ම සිතා බලා තෝරා බේරා ගැනීම හෝ උසස් නිර්මාණ නිර්මාණය වන තුරු බලා සිටීම පමණි.

Thursday, October 15, 2020

 ස්නේහයේ නගරයයි 



ස්නේහයේ නගරයයි සිත මගේ 
මාවතක් හෝ නොවූ රාගයේ 
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් 
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ 

යෞවනේ නිල් නුවන් සේ රැඳී 
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වා සිත් සඳුන් දුම් දවා 
රන් සිනා පාමි පූජාසනේ......

මේ නවාතැන් ගෙවා ආත්මයේ 
යනතුරා මිලින වී මතු දිනේ 
සෙනෙහසේ සිහිලඹින් දෙවන සේ යදියි මා 
පූජනීය වූ උතුම් ආදරේ........

ගායනය -: අමර සිරි පීරිස්
                    මැණික් ගුණසේකර 
පද රචනය -: හේමසිරි ගුණතුංග
සංගීතය -: රෝහණ වීරසිංහ 

ප්‍රේමය ගැන ලියැවුණු ගීත ඕනෑ තරම් අප අසා ඇත .නමුත් ප්‍රේමයේ පිවිතුරු බව පිළිබඳ ලියැවුණු ගීත අල්පය.එබැවින් "ස්නේහයෙ නගරයි" ගීතයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.හේමසිරි ගුණසිංහ මහතා අතින් ලියැවෙන මෙම ගීතය සහෘදයාගේ දෙසවන තුළ රැව් පිළිරැව් දෙන්නේ රෝහණ වීරසිංහ මහතාගේ සංගීතය හා අමරසිරි පීරිස් මහතාගේ හා මැණික් ජයසේකර මහත්මිය ගේ ගාගායනයෙන් පෝෂණය වූ නිසාවෙනි.

ගීතයට වස්තු විෂය වන්නේ හේමසිරි ගුණසිංහ මහතා ලද සත්‍ය අත්දැකීමකි.ගුනසිංහයන් ට බස් රථයක් තුළ දී හමුවන එකිනෙකාට නොදන්නා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු බස් ගමන අවසානයේදී පෙම්වතුන් වී බසෙන් බැස එන ආකාරය දැක ආදරය මෙතරම් ලාභ ද යන ප්‍රශ්නය වේ.එකී අත්දැකීම පාදක කොට ගනිමින් මෙම ගීතය රචනා වෙයි.

රචකයා ගීතය ගීතය ආරම්භයේ දීම පෙම්වතාගේ ප්‍රේමයේ ඇති පවිත්‍රත්වය විදහා දක්වයි.පෙම්වතා පවසන ආකාරයට ඔහුගේ සිත ස්නේහයේ පිරුණු නගරයකි.ඔහුගේ ස්නේහය එතරම් විශාල ය .එහි රාගය නැමැති මාවතක් නොමැත.මුළු නගරය ම පිරී ඇත්තේ  ආදරයෙන් හා ස්නේහයෙන් පමණි.

ස්නේහයේ නගරයයි සිත මගේ 
මාවතක් හෝ නොවූ රාගයේ 

පෙම්වතිය මේ ප්‍රේමවන්තයාගේ ස්නේහය දකින්නේ මෙත් පුරයක් ලෙසිනි.එනම් කරුණාවෙන්,මෛත්‍රියෙන් පිරුණු පුරයක් ලෙස  ට ය.ඇ ඒ මෙත් පුරේ හා යෑමට දැඩි කැමැත්තක් දක්වයි.ප්‍රේමවන්තයාගේ ස්නේහේ නැමැති මෙත් පුරය වන්දනා කිරීමට ඇය ඇත්තේ දැඩි කැමැත්තකි.

වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් 
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ 

රචකයා ගීතය පුරාවට ම උපමා රූපක යොදා ගනිමින් ගීතයේ අපූර්වත්වය ශ්‍රාවකයා ඉදිරියේ ජීවමාන කරවයි.රචකයා ආදරය සල් වනයකට  උපමා කරන්නේ එබැවිනි.ඒ ආදරය නමැති සල් වනයේ පිපුණු රන් මලක් ලෙස තම ප්‍රේමවන්තිය දකී.නූතන ගීතය තුළ ඇති උපමාවන් ට වඩා සෞම්‍ය ගුණයෙන් යුක්තව ප්‍රේම වන්තයා තම පෙම්වතිය දෙස බලයි.ඒ ශ්‍රාවකයා තුළ පහන් හැඟීමක් ඇති කරවන්නකි.ඇය ආදරය තුළ නෙත් පහන් දල්වමින් සිත් සඳුන් දුම් වලින් ඔහුගේ සිත නමැති පූජාසනය සුවඳ ගන්වන්නට හා ආලෝකමත් කරන්නට  පෙරුම් පුරයි.ඒ දෙදෙනා එකිනෙකාගේ ප්‍රේමය කෙරෙහි දක්වන ආකල්පය යි.

යෞවනේ නිල් නුවන් සේ රැඳී 
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වා සිත් සඳුන් දුම් දවා 
රන් සිනා පාමි පූජාසනේ......

ගීතය අවසානය ට පෙම්වතුන් දෙදෙනා පිවිතුරු ප්‍රාර්ථනාවක් සිත දරාගෙන තම ආදරය ඉදිරියට ගෙන යන බව පෙනී යයි.ජිවිතයේ එක් එක් නවාතැන් පසුකරමින් යන මේ ජිවිතය ගමනේ අවසානය වන තුරු ම ඇය ව සෙනෙහසින් රැක බලා ගන්නටත් ඇයට ආදරේ කරන්න ටත් ඇය හා ජීවිතේ ගෙවන්නටත් ඔහු පොරොන්දු වෙයි.
ඔහුගේ පූජනීය පිවිතුරු ආදරයේ සෙනෙහස නැමැති සිසිල් දියෙන් නා වන ලෙස ඇය ඔහුගෙන් අයද සිටි. 

මේ නවාතැන් ගෙවා ආත්මයේ 
යනතුරා මිලින වී මතු දිනේ 
සෙනෙහසේ සිහිලඹින් දෙවන සේ යදියි මා 
පූජනීය වූ උතුම් ආදරේ........

ගීතයේ පදමාලාව  ඉතා අලංකාර ය.උපමා රූපක යොදා ගනිමින් ගීතයට ආත්මීය  අර්ථයක් ලබා දීමට රචකයා සමත් වේ.ඊට නොදෙවෙනි ලෙස අමරසිරි පීරිස් සහ මැණික් ගුණසේකර  තම හඬ මුසු කරමින් ශ්‍රාවකයාව ගීතය තුළ ජීවමාන කර වීමට සමත් වේ.

Monday, October 12, 2020

 Mr and Mrs Iyer



2002 වර්ෂයේදී අපර්ණා සෙන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද Mr and Mrs Iyer චිත්‍රපටිය ඉන්දියානු සිනමාව තුළ ඉතාම ජනප්‍රිය වු චිත්‍රපටයකි.අපර්ණා සෙන්ගේ දියණිය වන කොන්කෝනා සෙන් ෂර්මා විසින් මෙහි ප්‍රධාන චරිතය වන මීනක්ෂි අයියර් ගේ චරිතයට පණ පොවන අතර රාහුල් බොස් විසින් රාජා චෞද්රි ගේ චරිතයට පණ පොවනු ලබයි.මුස්ලිම් විරෝධී වාර්ගික ප්‍රචණ්ඩත්වයේ පසුබිමට එරෙහිව සකස් කරන ලද සමකාලීන ආදර කතාවක් ලෙස මේ හැඳින් විය හැක.ඉන්දියානු වාර්ගික අර්බුදයට මැදි වුණු සංස්කෘතීන් දෙකක් වටා මෙම චිත්‍රපටය  නිර්මාණය ගොනු වී තිබේ .එනම් හින්දු භක්තිකයකු වන දමිළ බ්‍රහග්මන මීනක්ෂි අයියර් හා මුස්ලිම් වනජීවී ජායාරූප ශිල්පියෙකු වන රාජා චෞද්රි වටාය.මෙම චිත්‍රපටය මගින් ඉන්දියානු සමාජය තුළ පවතින ජනවාර්ගික ගැටුමේ ස්වභාවය හා ඉන් සමාජයට සිදුවන හානිය විවරණය කරනු ලබයි.ඊට අමතරව ආදරය,සෙනෙහස,ආත්මාර්ථකාමීත්වය හා පාවා දීම වැනි මනුෂ්‍ය ගති ලක්ෂණයන් මේ චිත්‍රපටය තුළින් මැනවින් විග්‍රහ කරයි.චිත්‍රපටයට දායක වන චරිත භාෂාමය  වශයෙන් විවිධාකාර වන බැවින් මෙහි ආඛ්‍යාන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂා භාවිතා කරයි.

කල්කටාවේ සිට සිය පුතු සමඟ දෙමව්පියන් බැලීමට පැමිණි මීනක්ෂි නැවත කල්කටාව බලා යන අතර වාදයේ ඇතිවන සිද්ධි දාමය චිත්‍රපටිය පුරාවට නිරූපණය කරයි.චිත්‍රපටය ආරම්භ වන්නේ ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයක පිහිටි කුඩා බස නැවතුම්පොළකිනි.චිත්‍ර පටයේ ඇති  සුවිශේෂත්වය වන්නේ සීමිත පසුතල ප්‍රමාණයක නිර්මාණය වීමයි.ඉන් වැඩි කොටසක් රූප ගත වන්නේ බස් රථයක් හා දුම්රියක් තුළ ය.චිත්‍රපටයේ තීරණාත්මක අවස්ථාවන් රැසක් සිදුවන්නේද මෙම බස් රථය හා දුම්රිය කේන්ද්‍ර කර ගනිමිනි.කල්කටාව ගමනාන්තය කරගත් මෙම බස් රථය තුළට ගොඩ වන පුද්ගලයින් ඉන්දියානු සංස්කෘතිය විවිධ පැතිකඩයන් නිරූපණය කරයි.එනම් මුස්ලිම්,හින්දු,සික් ජාතිකයින් වේ.චිත්‍රපටිය ඉදිරියට ගොඩනැඟෙන්නේ මෙම පුද්ගලයින්ගේ විවිධ හැසිරීම් පදනම් කරගනිමිනි.

කඳුකරයේන් පිටතට යන අන්තරායික ගමනේදී මීනක්ෂි සිය දරුවා බලා ගැනීමට රාජාගෙන් උපකාර පතයි.රාජා සාම්ප්‍රදායික මුස්ලිම් තරුණයෙකුට වඩා ස්වරූපයෙන් වෙනස් වීම ම සාම්ප්‍රදායික හින්දු කාන්තාවක් වන මීනක්ෂි ඔහුගෙන් උපකාර පැතීම පැතීමට යොමු වීමට හේතු වේ.ඔවුන් දෙදෙනාගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති වන්නේද මෙතැන් සිටය.නමුත් රාජා විසින් තම මුස්ලිම් අනන්‍යතාවයට ඇයට හෙළි නොකරයි.තම පුතු බලා ගැනීමට උපකාර කරන රාජා පිළිබදවත් පැහැදුනු සිතක් මීනක්ෂි තුළ ඇති වේ.එබැවින් ඔවුන්ගේ ආරම්භක සම්බන්ධය ඉතාමත් සිසිල් ස්වභාවයකින් යුක්තය.

චිත්‍රපටයේ ගමන්මග වෙනත් දිශාවකට යොමු වන්නේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් පුපුරා ගිය නගරයක බස් රථය නතරවීමත් සමග ය.මේ අවස්ථාවේදී රාජා තම මුස්ලිම් අනන්‍යතාවය මීනක්ෂිට හෙළි කරයි.ඇය මින් කම්පනයට පත් වේ.ඇගේ කම්පනය තුළින් රාජා කෙරෙහි ඈ තුළ පැවති හැගීම් ප්‍රේක්ෂකයා වෙත මනාව විද්‍යාමාන වෙයි.බස් රථයට ගොඩ වන හින්දු අන්තවාදීන්ගේ මුස්ලිම්වරුන් සොයා යයි.එහි දී පුරුෂයින්ගේ චර්මඡේදනය වී ඇද්දැයි පවා පරික්ෂා කරයි.මෙහි දී මීනක්ෂි රාජා වෙනුවෙන් පෙනී සිටි.ඇය තම අතේ හුන් දරුවා රාජා ගේ ඇකයේ හිඳුවා ඇය අයියර් මහත්මිය බවත් රාජා තම ස්වාමිපුරුෂයා බව ප්‍රකාශ කරයි.මේ මොවුන්ගේ හමුවේ උච්චතම අවස්ථාවයි.

මෙම සිදුවීමෙන් පසු ව බස් රථයේ රැය පහන් කරන මොවුන් විකල්ප ප්‍රවාහන පහසුකම් සෙවීමට නගරයට යයි.මුස්ලිම් නිවාස විනාශ වී ඇති අතර ප්‍රදේශයේ පොලීසිය ජාතිවාදී කොල්ලය දෙස ඇස් පියා ගෙන සිටිති.රාජා සහ මීනක්ෂි ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස තම අනන්‍යතාවය පවත්වාගෙන දින කිහිපයක් නගරයෙන් පිට පාළු අමුත්තන්ගේ නිවසක රැකවරණය ලබයි.මෙම නිවසේ ගත කරන කාලය තුළ ඇති වන සිද්ධි දාමයන් හා දෙබස් තුළින් ඔවුන්ගේ සංස්කෘති දෙක අතර පවතින පරතරය විද්‍යාමාන වේ.ඔවුන් ආහාර පාන ලබා ගැනීමේදී පවා ගැටලු මතුවේ.නමුත් පසුව ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කොටගනි.එතැන් සිට ඔවුන් සංස්කෘතීන් දෙක අතර පවතින පරතරයන් බිඳ දමමින් හුදු මනුෂ්‍යයන් ලෙස කටයුතු කරයි.

අවසානයේදී ඔවුන් ප්‍රදේශයේ දුම්රිය ප්‍රවාහනය ඔස්සේ තම ගමනාන්තය දක්වා ගමන් කරයි.දුම්රිය තුළ දී ඔවුන්ගේ ප්‍රේමාන්විත හැඟීම් තව දුරටත් උද්දීපනය වේ.නමුත් එය සීමා මායිම් වලින් එපිට තබා ගැනීමට දෙදෙනාම උත්සුක වේ.කල්කටාවට දුම්රිය ළඟාවීමේ දී අයියා මහතා මීනක්ෂි සහ තම පුතු සන්තානම් පිළිගැනීමට පැමිණේ.එහිදී මීනක්ෂි, තමාට උපකාර කළ මුස්ලිම් ජාතික තරුණයාව තම ස්වාමි පුරුෂයාට හඳුන්වා දෙයි.මෙ තැන් සිට මීනක්ෂි සහ රාජ අතර ප්‍රේමාන්විත වෙන් වීමක් සිදු වේ.මන්ද මීනක්ෂි ගේ සැබෑ අයිතිකරුවා ඔහු ඉදිරියේ සිටගෙන සිටි.මොවුන් දෙදෙනා අතරට තමා ගේ පැමිණීම වරදක් වන බව සිත යි.එබැවින් මොහු ඔවුන්ගේ ගමනේ ඡායාරූප අඩංගු කැමරා රෝලය මීනක්ෂි වෙත භාර දෙයි.එඑතැන් සිට ඔවුන් දෙදෙනාගේ චිත්තවේගීව සමුගනි.


සාම්ප්‍ම්ප්‍රදායික ප්‍රේම වෘතාන්තයකට වඩා වෙනස්ම වූ ආකාරයකින් යුක්ත ප්‍රේමයක් මෙම චිත්‍රපටය තුළින් විදහා දක්වයි.එකි ප්‍රේමයේ ඇති සොදුරු බව,අපූර්වත්වය විදහා ගැනීමට නම් මෙම චිත්‍රපටය නැරඹිය යුතු ම ය.

රූපවාහිනීය සහ ළමා මනස   සමාජය තුළ  භාවිතා වන අශනකුත් ජනමාධ්‍යන්ට සාපේක්ෂව රූපවාහිනී මාධ්‍යයට හිමි වන්ශන්  සුවිශේෂී  ස්ථානයකි. ඊට හේතුව වන්නේ...