කුමර කොබෙයි නවකතාව
නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කෙරෙන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්යානයකී. නැතහොත් මිනිසාගේ විවිධාකාර වූ ජීවන පැතිකඩයන් නිරූපණය කරන කලා මාධ්‍යයක් ලෙස ද විග්රහ කළ හැක. නවකතාකරුවෙකු තමන් ලදජීවන අත්දැකීම් හෝ ප්‍රබන්ධය කරන ලද හැඟීම් පදනම් කරගෙන නවකතාව ගොඩනඟයි. එකී යථාර්ථය පසක් කර ලීමට ශමෙල් ජයකොඩි මහත්මිය ගේ නවකතා වලට හැකි වේ. ඇය වෘත්තීය වශයෙන් සිවිල් ඉංජිනේරුවරියක වුවත් ඇයව සමාජය හඳුනාගෙන තිබෙන්නේ සාහිත්‍ය සමාජය ප්‍රභාමත් කරවන නවකතාකාරියක් ලෙස ය. 2008 වර්ෂයේ දී "යළි උපන් ගැහැණිය" නවකතාව රචනා කරමින් නවකතාකරණයට පිවිසෙන ඈ ඉන්පසු "රෝසමාලී", "පියාපත්ලත් දෝණි", "ගැහැණු ළමයාගේ මරණය", "පාරාදීසයක දරුවෝ", "ප්‍රංශ පෙම්වතා", "ඇමරිකා", "වීනස් ගේ උපත", "කුමර කොබෙයි" ඇතුළුනවකතා 12 ක් රචනා කර තිබේ. මින් බොහොමයක් නවකතා ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වූ ඒවා ය. ඇගේ නවකතා බොහෝ විට ගොඩනැගෙන්නේ විවිධාකාරයෙන් පීඩාවට පත්වු ස්ත්‍රී ආත්මයන් වටා ය. ඒවා තුලින් සියුම් ලෙස දිරිමත්, ධෛර්යමත් කාන්තාවන් සිය ප්‍රතිරූපය සකස් කර ගන්නා ආකාරය පාඨකයා හමුවට ගෙන එයි. එබැවින් ඇගේ නවකතා ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් නිර්මාණය වන ස්වභාවයක් ද නිරූපණය වේ. විදෙස්ගතව ජීවත්වන ඇය බටහිර රටවල වාසය කරන ලාංකිකයන්ගේ ජීවන දෘෂ්ටින් හා සංස්කෘතික වශයෙන් හැසිරෙන ආකාරය පදනම් කර ගෙන නවකතා කරණයෙහි යෙදෙයි. මෙකී ආකෘතිය මත නිර්මාණය වූ නවකතා අතරින් කුමර කුකොබෙයි නවකතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙය 2020 වර්ෂයේ දී ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසාන වටයට නිර්දේශ වු කෘතියකි.
කුමර කොබෙයි නවකතාව නිර්මාණය කිරීමට පාදක වන්නේ ඇමරිකාවේ ජීවත් වන අවිවාහක ලාංකීය තරුණියක් වන ඉන්දිකා සිය අන්තර්ජාල පෙම්වතා හමුවීමට නිර්මලා හා අරුන්දතී යන සිය මිතුරියන් සමග ඇමරිකානු මහද්වීපය හරහා යන චාරිකාවේ දී ඔවුන් අතර ඇතිවන මානසික විවරණයකි. නවකතාව ගොඩනැඟෙන්නේ ඉන්දිකා, නිර්මලා හා අරුන්දති යන චරිත ත්‍රිත්වය වටාය. ඉන්දිකා විවාහය ප්‍රමාද වූ විවාහයත් දරුවන් ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන ඒ සඳහා අවකාශය සොයා යන තරුණියකි. නිර්මලා බිඳී ගොස් ඇති විවාහය පිළිබඳ ව උපේක්ෂාවෙන් බලා දරුවන් උස් මහත් කරගෙන උසස් ජීවන මට්ටමක් ළඟා කරගෙන සිටින තෘප්තිමත් මවකි. අරුන්දතී ඈ හැරගිය සැමියා නැවත කැඳවාගෙන ඒමට අපේක්ෂා කරන ධෛර්යමත් මවකි. නවකතාව තුළ දී මේ චරිත ත්‍රිත්වය සිය ජීවිතයේදී අත්කරගන්නා ලද ජයග්‍රහණ, පරාජයන්, හිමිකරගැනීම් හා අහිමි කර ගැනීම් පිළිබඳව අද්දැකීම් බෙදා හදා ගනිමින් එකිනෙකා ශක්තිමත් කර ගනිමින් ජීවිතය බෙදා ගන්නා ආකාරය විද්‍යමාන කරයි. එබැවින් නව කතාවේ අනුභූතීන් පැති කිහිපයක් ඔස්සේ විග්රහ වේ. එනම් නූතන ස්ත්‍රියකගේ භූමිකාව, මහද්විපයක වසන මිනිසුන්ගේ ජීවන චර්යාව හා සංස්කෘතීන් කිහිපයක ඝට්ටනය විවරණයවේ.
නව කතාව ආරම්භ වන්නේ ම පාඨකයා තුළ කුතුහලයක් හා ප්‍රශ්නාර්ථයක් ජනනය කරමිනි. නිර්මලා ගේ මුවින් පිටවන එන වචන සමුදායකින් ඉන්දිකා ගේජීවිතයේ විශාල හිඩැසක් හා ඇගේ පෙම්වතා ගේ ස්වභාවය පාඨකයා වෙත ගෙනහැර දක්වයි. දරුවෙකු ලැබීමේ සරුභාවය අග්ගිස්සෙහි එල්ලී සිටින ඉන්දිකා ගේ මූලික අපේක්ෂාව වන්නේ ඉක්මනින් විවාහ වී දරුවෙකු ලැබීමය. එකී අපේක්ෂාව කතුවරිය පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ සංඥාර්ථ උපයෝගීකොට ගනිමිනි. තනිකඩ ගැහැනියක් විදිහට ඇමරිකාවේ සිංහල මිනිසුන් අතර වෙහෙසකර දිවියක් ගෙවන ඉන්දිකා ට කාලිංග මුණගැසෙන්නේ සයිබර් අවකාශය තුළිනි. කිසි දිනක හැබහින් දැක නොමැති ඇමරිකාව තුළ අනවසරයෙන් පදිංචි ව සිටින ඉන්දිකා ගේ පෙම්වතාගේ ස්වාභාවය කතුවරිය පාඨකයා වෙත ගෙන එන්නේ "පිටසක්වල පෙම්වතෙකු" ලෙස රූපක උපයෝගී කරගනිමිනි. ජීවිතයේ හතළිස් දෙවැනි වියේ පසුවන ඉන්දිකා තවදුරටත් විවහාය පිළිබඳ සිහින දකිමින් ඇමරිකාව තුළ හැබැහින් ජීවත් නොවන පුද්ගලයකු මත තම අපේක්ෂාවන් රඳවා බලා සිටීම පිළිබඳ ඇගේ යෙහෙළිය වන නිර්මලා සිදුකරන චෝදනාත්මක ස්වරය කතුවරිය ඉදිරිපත් කරන්නේ උපමාවන් උපයෝගී කර ගනිමිනි.
"ඔයාට ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕනෑ නම් දැන් ම කසාද බඳින්න, දැන්ම කසාද බඳින්න ඕනේ නම් ඔය පිටසක්වල පෙම්වතා අමතක කරන්න "නිර්මලා ගේ මුවින්ඒ වචන ගලා ආවේමී පැණි මෙන් හිමිහිට ඝනකම් ව ය. "
ඉන්දිකා ලංකාව හැර තමා ඇමරිකාවට පැමිණේන්නෙ තම විවාහය ප්‍රමාද වීම පිළිබඳ ලංකීය සමාජයෙන් එල්ලවන පීඩනයෙන් සැඟවී සිටීමට ය. ලංකාව වැනි සංස්කෘතික, ආගමික හා සම්ප්රදායන්ගෙන් මායිම් වූ රටක ස්වකැමැත්තෙන් තනිවීම දුෂ්කර කර්යයකි. නමුත් එය ට තම පවුලෙන් නෑදෑ හිත මිතුරන් ගෙන් ධෛර්යය, ආදරය හිමිවන්නේ නම් එය පහසු කාර්යයකි. නමුත් ලාංකික සමාජය තුළ ජීවත් වෙන මිනිසුන් විවාහය දෙස බලන්නේ කාන්තාවක් වීම නිසාම අනිවාර්යෙන් හිමිවිය යුතුය දෙයක් ලෙස ය. ගැහැනියක යනු ජිවිතයේ අවස්ථා ගණනාවක අලුතින් උපදින තැනැත්තියකි. වැඩිවියට පත්විම, විවාහය, මාතෘත්වය යන අවදීන් තුළ ගැහැනියකට විවිධාකාර වූ භුමිකාවන් අත්විදිමට සිදුවේ. නමුත් මෙම එක් භුමිකාවක් හෝ මග හැරෙන තැනැත්තියට සමාජයෙන් කොන්විමට සිදුවේ. විශේෂයෙන් මෙම චොදනාත්මක ස්වරයන් එල්ල වන්නේ ම තවත් කාන්තාවක් තුළිනි. ලාංකික සමාජය තුළ ජීවත්වන බොහෝ කාන්තාවන් මුහුණ දෙන එකී සමාජ සත්‍ය නවකතාව තුළින් යථාර්ථවාදී ස්වරූපයකින් යුතුව ඉදිරිපත් කරයි.
"ලංකාව දාලා මෙහේ එන්න නම් හිතිලා තිබුණේ නැහැ. ඒත් බදින්න පරක්කු වෙද්දි මට ලැජ්ජ හිතුනා. නෑදෑයෝ, ගමේ අය, මාත් එක්ක වැඩ කරන අය කතා කලේ මට බදින්න කවුරුත් නැති එක ගැන...."
ලාංකික සමාජයෙන් එල්ලවන පීඩනයෙන් මිදීමට ඇමෙරිකාවට පැමිණි ඉන්දිකාට මුණ ගැසෙන ඇමරිකාවේ නිව්ජර්සි හි මිතුරු සමාජයද කොදෙව් මානසිකත්වයෙන් බැහැර නො වුණු පිරිසකි. ඔවුන් ද ඉන්දිකාගෙ තනිකඩ ජිවිතය පිළිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ එය ඇ තුළින් සිදු වු විශාල වරදක් ලෙස හුවාදක්වමිනි. මන්ද ඔවුන් ආදර, විවාහය දෙස බලන්නේ සාම්ප්‍රදායික මතවාද තුළිනි. ඇමරිකානු සමාජය තුළ සිංහල ගම්මාන නිර්මාණය කරගෙන සිටින මිනිසුන් ඇමරිකානු සංස්කෘතිය තුළ ජීවත් වෙමින් සිංහල සංස්කෘතියෙන් හිතන පතන පිරිසක් විය. එබැවින් ඉන්දිකා ගේ තනිකඩ ජීවිතය ඒ තුළින් තව තවත් හෙම්බත් කරවයි. මෙහිදී කතුවරිය ඇගේ තනිකඩ ජීවිතයේ ස්වභාවය පාඨකයා ඉදිරියට ගෙන එන්නේ අසම්පූර්ණ වූ සිතුවමකට උපමා කරමිනි.
"ඒ දිනවල නිව්ජර්සි හි මිතුරු සමාජය මා දෙස බැලුවේ අවසන් නොකළ සිතුවමක් දෙස බලන පරිද්දෙනි"
දරුවෙකු ලැබීමේ සරු කාලය දවසින් දවස ප්‍රමාද වන ඉන්දිකා සිය ජිවිතය බලාපොරොත්තු මත පමණක් රදවාගෙන කාලිංග දෙස බාලාසිටින්නෙ ඇගෙ ජිවිතය තේරුම් ගත් එකම පිරිමියා ඔහු වු බැවිනි. මින්පෙර ඇගේ ජිවිතයට පැමිණි කිසිවෙකු ඇයව තේරුම් ගත් අය නොවිය. ඇය හැම විටම බලාපොරොත්තු වූයේ තමා ව ඉන්න විදියෙන් භාරගන්නා කැමති මිනිසුන් සහිත සමාජයකට ය. ඇගේ ප්‍රමාද වූ විවාහය පිළිබඳ ව හේතු නොසොයන මිනිසුන් ගෙන් පිරි ලෝකයකි. නමුත් ඇය අපේක්ෂා කළ ලෝකය දිනා ගැනීමට ඇයට නොහැකි විය. ඇගේ හුදෙකලා වු ජිවිතය ට හෙතුවන්නෙ ද මෙයයි. ඇමරිකාව තුළ වෙහෙසකර හුදකලා දිවියක් ගත කරන ඉන්දිකා ට කාලිංග ගේ පැමිණීම යම් අස්වැසිල්ලක් හිමි කරදෙයි. ඔහු ඉන්දිකාගේ හුදකලා ජීවිතයට ඇහුම්කන් දෙයි. එසේම ඇගේ බලාපොරොත්තු සියල්ල ඉටුකර දීමට ඔහු පොරොන්දු වේ. නමුත් කාලිංග ඇමරිකාව තුළ ගත කරන්නේ සැඟවුණු ජීවිතයකි. කාලිංගගේ මෙම සැඟවුණු ජීවිතය පිළිබඳ නිව්ජර්සිහි මිතුරු සමාගමේ සැකයට බඳුන් වේ. ඉන්දිකා තම ජීවිතය නොකෙරෙන විවාහයක් වෙනුවෙන් ගෙවා දමන බව ඔවුන් චෝදනා කරයි.
" ඔයා ළඟ තියෙන්නේ හිස් ආදරයක්.....ඉන්දිකා රැට කාලිංගට කතා කරලා ලස්සන හින එක්ක නිදාගන්නවා. පහුවදාට වැඩට යනවා. ඒත් දවස අන්තිමට ඔයා එතනමයි. ඒ වගේ ආදරයක් හොදයි අවුරුදු විස්සේ ගෑනු ළමයින්ට....."
" ඔය විදිහට ඉන්දිකා නොදන්න මනුස්සයෙකුට බැදිලා ඉන්න එකෙන් ඉස්සරහට එන්න ඉන්න කෙනෙක්වත් අදුනගන්න ඔයට ඉඩක් නැහැ.."
අවසානයේ ඉන්දිකා තම විචිත්‍රවත් කැලිෆෝනියානු ආදරය සොයා යාමට තීරණය කරන්නේ ඇගේ මිතුරිය වු නිර්මලාගෙ යෝජනාව මතය. කුමර කොබෙයි නව කතාවේ පරමාර්ථය දිගහැරෙන්නේ මෙතැන් සිටය. නිර්මලා ගේ ඉල්ලීම් මත කාලිංග බැලීමට යන මේ චාරිකාව සඳහා ඉන්දිකා නිව්ජර්සි හි සිට නිර්මලා සිටින කැනඩාවේ මොන්ට්‍රියල් බලා පැමිණේ. ඇය පිළිගැනීමට නිර්මලා දුම්රි ස්ථානයට පැමිණේ. එහිදී නිර්මලා හැඳ සිටි ඇඳුම් තුළින් කතුවරිය සංස්කෘතින් දෙකක මිශ්‍රණයක් පාඨකයා වෙත ඉදිරිපත් කරයි. ඇමරිකානු සංස්කෘතිය තුළ ජීවත් වුවද තවමත් ඇය තුළ ශ්‍රී ලාංකික සංස්කෘතිය තිබෙන බව ඒ තුළින් සංකේතවත් කරයි. කතුවරියඒය ඉදිරිපත් කරනුයේ ඉන්දිකා ගේ ප්රකාශනයක් ලෙසට ය.
"එදා නිර්මලා මා පිළිගත්තේ ඩෙනිම් කලිසමට උඩින් වටිනා හෑන්ඩ්ලූම් රෙද්දකින් මැසූ උස අත් කොට වර්ණවත් බ්ලවුසයකින් සැරසී ගෙනය... ඔයාගේ ඩෙනිම ඇමරිකාවෙන් හැට්ටෙ ලංකාවෙන්.... මම වෙනදා මෙන් විහිලු කලේමි."
ඉන්දිකා ගේ පෙම්වතා හමුවට යන මේ මහද්වීප චාරිකාව අතරතුර ඔවුන් දකින අත්විඳින සමාජ කතිකාවත අපූරුය. ඔවුන්ට හමුවන විවිධ මිනිසුන්, විවිධ සංස්කෘතීන් මෙන්ම අපුර්ව පරිසරය කෘතියට අපූර්ව අගයක් එකතු කරයි.ගමනේ වැදගත්ම සංධිස්ථානය වන්නේ ගමන අතරවාරයේදී හෙලිවන ඉන්දිකා, නිර්මලා හා අරුන්දතිය ගේ ජීවන කතිකාවතයි.නවකතාව මෙතැන් සිට ස්තීවාදී දෘෂ්ටිකෝණයකින් රචනා කර තිබෙන බව මෙහි ඉදිරිපත් කර තියන උදාහරණ තුළින් පිළිබිඹු වේ. නිර්මලා හා ඉන්දිකා විවාහ වී දරුවන් ලැබ සාර්ථක පවුල් දිවියක් ගත කරන කාන්තාවන් ලෙස සමාජයේ ඉදිරියේ පෙනී සිටි.නමුත් ඔවුන්ගේ ජීවිතවල නොපෙනෙන පැතිකඩක් සැඟවී තිබෙන බව පාඨකයා වෙත විද්‍යාමාන වන්නේ චාරිකාව අතර වාරයේ ඇතිවෙන සංවාද තුළිනි. මතු පිටින් පෙනෙන ආදරය හා සතුට පිරි පවුල් ඒකකය බොහෝ විට ව්‍යාජ එකක් බව දැක ගත හැකි වන්නේ ස්ත්‍රී ආත්මය තුළ ප්‍රකාශිත වරප්‍රසාද අත් කර ගත් විටය. එකී ව්‍යාජය සත්‍යයක් බව වටහා ගෙන ජීවත් වන්නේ පවුල් ඒකකය රැකගැනීමට ස්ත්‍රී තුළ ඇති ධෛර්යය නිසාවෙනි. එබැවින් නිර්මලා සහ අරුන්දතී යථාර්ථය තේරුම් ගත් කාන්තාවන් ලෙස ජීවිතය ජය ගැනීමට හා ජීවිතය විඳින්නට උත්සාහ කරන බව ඉන්දිකා දැනගන්නේ චාරිකාව අතර වාරයේ ඇතිවන මෙම මානසිකවිවරණයේ දී ය.
අරුන්දති ගේ චරිතය මතුපිටින් පෙනෙන්නේ ජීවිතය සන්තෝෂයෙන් විඳීමට ආශාකරන ජීවිතයට පැමිණෙන ගැටලු පිළිබඳව බැරෑරුම් ලෙස නොසිතන දඩබ්බර චරිතයක් ලෙස ය.නමුත් ඇය ඇතුළාන්තයෙන් සිය පවුල් ජීවිතය ව්‍යාකූල වූ තම දරුවන්ගේ යහපත පමණක් සිතන, ජීවිතයේ විවිධ හැලහැප්වීම් ලක් වුනු කාන්තාවකි. අරුන්දතී ගේ පළමු විවාහය සිදු වන්නේ ස්ටීවන් නැමැති රෝගි වූ මහලූ පුද්ගලයකු සමඟයි. ඒ ඇයට ඇමරිකාව තුළ ස්ථිර පදිංචිය තහවුරු කරගැනිමේ අවශ්‍යතාව නිසාවෙනි. නමුත් අරුන්දතී ඔහුට ඇගේ උපරිමයෙන් උපස්ථාන කරමින් රැකබලා ගනී. ඔහුට නොමද කරුණාවෙන් හා සෙනෙහසින් යුක්තව කටයුතු කර දුන්හ. එබැවින් අරුන්දතී ද ඔහුගේ නොමද කරුණාවට භාජනය වේ. ඔහු ඇයගේ සමස්ථ ජිවිතයම සැලසුම් කරයි. ඇයට ඇමරිකාව තුළ උපන් ගැහැනියක ලෙස ජිවිතය ගතකිරීමට අවශ්‍ය සියලුම අවකාශය සලසා දෙයි. නමුත් ඇගේ හද තුළ කැකෑරෙන පසුතැවිල්ලවන්නේ තමාට එතරම් කරුණාව දැක්වූ ඔහුගේන් දරුවෙකු බිහිකර ගැනීමට නොහැකි වීමයි. මෙකී අවස්ථාව පාඨකයා තුළ කරුණා රසය උත්පාදන කරන අවස්ථාවකි.
"ස්ටීවන්මට පෙන්නු කරුණාව ලබන්නට මම මොනතරම් පින් කරන්න ඇද්ද?.. .එයා මරණය දැක දැක මගේ ජිවිතයේ අගලක් ගානෙ සැලසුම් කළා. මම අදටත් දුක් වෙනවා මම ස්ටීවන්ගෙන් දරුවෙක් හැදුවේ නැති එකට"
ස්ටීවන්ගෙ මරණින් පසුව අරුන්දතී ගේ දෙවැනි විවාහය සිදුවන්නේ ප්‍රසාද් සමඟ ය. ඇයට ප්‍රසාද් ව හමුවන්නේ ස්ටිවන් සමඟ විවාහ ජිවිතයගත කරන කාලය තුළය. එම සම්බන්ධතාව ගොඩනැගෙන්නේ ස්ටිවන්ගේ ආශිර්වාදය මතය. මන්ද තමා ට ලබා දිය නොහැකි ජීවිතය ඇය ඔහු ගෙන් ලැබීම ස්ටීවන් ගේ අපේක්ෂා විය. එහිදී අරුන්දතීට ප්‍රසාද් ට දාව දරුවන් දෙදෙනකු උපදී. නමුත් ඔවුන්ගේ පවුල් ජීවිතය ව්‍යාකූල වන්නේ ප්‍රසාද්ගේ සූදුවට හා බීමට ඇබ්බැහිවු ජීවිතයක නිසාවෙනි. ඇය ඔහුව එම ජීවිතය ගලවා ගැනීමට උත්සාහ කළ ද එය කළ නොහැකි වූ තැන ඇය දරුවන් දෙදෙනා ද සමග මොන්ටියල් හි පදිංචියට පැමිණෙන්නේදරුවන්ගේ අනාගතය ගැන සිතමිනි. අරුන්දතිට සිය සැමියාගේ ජීවිතයය හමඟට ගත නොහැකි කළ ඇගේ සම්පූර්ණ ජීවිතේ වන්නේ දරු දෙදෙනාය. එය උතුම් මාතෘත්වය විදහා දක්වන අවස්ථාවකි. පියෙකු නොමැතිව හැදී වැඩෙන තම දරුවන්ට පියාගේ අඩුව කිසිවිටෙකත් දැනිමට ඇය ඉඩ නොදේයි. විවාහ ජීවිතය තුළ බිරිඳ විදියට අසාර්ථක චරිතයක් වුව ද මවක් විදිහට ඇය සතු සාර්ථක භාවය අතිමහත්ය. කතුවරිය මෙහිදී අරුන්දතී අරුන්දිකගේ ජීවතයෙහි සැඟවී පැවති ශෝකජනක වූ පැතිකඩ පාඨකයා ඉදිරියේ ගෙනහැර දක්වන්නේ මෙසේ ය .
" අම්මා කෙනෙක් ට සිද්ධ වෙනවා දරුවන්ගේ අනාගතය ගැන සිතන්න .....ළමයින්ගෙ තාත්තා සූදු කෙළිනවා නම් ඒඅම්මා උත්සාහ ගන්නවා ළමයි ගැන හිතලා ඒ මනුස්සයා හරිපාරේ යවා ගන්න. එහෙම බැරි නම් තනියම හරි ළමයි හොඳට හදාගන්න. "
" එක තමයි අම්මා කෙනෙක් වෙනවා කියන්නේ.... .පොඩි පුතාගේ කතා අහලා මට දැන් හොකී ලිග් ගැන පොතක් ලියන්න පුළුවනි. ඇත්තටම නම් ආදරය කරනවා කියන්නේ ඇහුම්කන් දෙන එක්ට...මගේ නම් ලොකුම විනොදාන්ශය වුණේ ම්ගේ පුතාලා උස් මහත් වෙනකම් තාත්තගෙ අඩුව පුරෝපු එක "
අරුන්දතී සිය දරුවන් ගේ අනාගතය පිළිබඳ සිතමින් තම ස්වාමිපුරුෂයා අතහැර පැමිණිය ද ඇය ඒ පිළිබඳ පසුතැවිලි වේ. ඇය තම දරුවන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ කැමැත්ත, ආශාවන් කැප කළ මවකි. අරුන්දතී හා ප්‍රසාද් වෙන් වෙන්ව ජිවත් වුවද ඔහු පිළිබඳ ව ඈ තුළ ඇති ආදරය කිසි ලෙසකින් වත් අඩු වී නොමැති බව කතුවරිය පාඨකයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ සංකේත උපයෝගී කර ගනිමිනි. වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි ආකාරයේ හැඟීම් සමුදායක් කතුවරිය සංකේත මගින් ඉදිරිපත් කරන්නේ ඇ සතු භාෂාමය කුසලතාවය විදහා දක්වමිනි.
" ඒක ප්‍රසාද් ගේ ඇඳුමක්...අරුන්දතී ඒක පණ වගේ රකිනවා...හෝදන්නේ අතින් "
නවකතාව ආරම්භයේ දීම නිර්මලාගෙ චරිතය පාඨකයා හමුවට ගෙනයන්නේ උසස් ජීවන මට්ටමක් ළඟා කරගනිමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන තෘප්තිමත් මවක් ලෙස ය. නමුත් ඇගේ ජීවිතය පිළිබඳ පාඨකයා හමුවේ නිරාවරණය නොවුණු අඳුරු පැතිකඩක් චාරිකාව අතර වාරයේදී එළිදරව් වේ. එනම් ඇගේ විවාහ ජීවිතයේ ව්‍යාකූල වු ස්වාභාවය යි. ඇයවිවාහ වන්නේ වීනොද් නම් දමිළ තරුණයකු සමඟය. ඔහුගේ සෙල්ලක්කාර ජිවිතය ඇගේ විවාහය දෙදරායමට හෙතුවිය. නිර්මලා තමාගේ මුලු ජිවිතයම සිය පවුල වෙනුවෙන් කැපකලද ඔහුට තනි ගැහැනියකට කොටුවී ජිවත් විමට නොහැකි විය. නමුත් නිර්මලා ඔහුගේ මෙම ජිවිතය දෙස යොමන්නෙ උපෙක්ෂා සහගත බැලීමකි. දරුවන් දෙදෙනකු සිටින ව්‍යාපාරික කාන්තාවක් වන නිර්මලා ප්‍රසාද් හට ඔහුගේ ජිවිතය තුළ ජිවත්විමට ඉඩහරින්නෙ තම දරුදෙදෙනාට පියෙකු අහිමිවේයැයි යන බිය නිසාවෙනි. එබැවින් නිර්මලා සමාජය තුළ සාර්ථක චරිතයක් වුවත් පවුල් ජිවිතය තුළ අසාර්ථක චරිතයකි. නමුත් ඇය මෙම දුක්ගැහැට විදදරා ගනිමින් සමාජය ඉදිරියේ සිය සාර්ථකභාවය පමණක් නිරුපනය කරන ලද්දේ ඈ සතු ධෛර්යය පාඨකයා වෙත ඉදිරිපත් කරමිනි. සැම මිනිසෙකුගේම සිය ජිවිතය තුළ සාර්ථක හා අසාර්ථකවු ජිවන පැතිකඩයන් නිරුපනය කරයි. මෙය සැම පුද්ගලයකුම සිය ජිවිතය තුළ අත්විදින සමාජ සත්‍යයකි. බොහෝ මිනිසුන් තම සාර්ථකභාවය තුළින් අසාර්ථකවු ජිවිතය වසන් කිරීමට උත්සාහ දරයි. මෙකී සමාජ යථාර්ථය කතුවරිය පාඨකයා වෙත ගෙන එන්නේ නිර්මලාගෙ චරිතයතුළිනි. ලෝකයට පෙනෙන ජිවිතය හා නොපෙනෙන ජිවිතයේ අදුරු පැපැතිකඩ දෙස උපෙක්ෂාවෙන් බලමින් ඒවා පරයා යන ස්ත්‍රීයකගෙ ශක්තිය හා අධිෂ්ඨානය අත්මිය ප්රකාශනයක් ලෙස මෙහිදී මුදාහැරේ.
" නිර්මලා හරියට හද වගේ.....එළිය තියෙන පැත්ත විතරක් අපට පෙන්නන කෙනෙක් එයා..... එහෙම කියලා හදේ අදුරු පැත්තක් තියෙන විත්තිය අමතක කරනවා නම් අපියි වැරදි...."
නවකතාව ගොඩනැගෙන්නෙ ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයක් කැටි කර ගනිමිනි. ස්ත්‍රියට සමාජය තුළ හිමිවන ස්ථානය පිළිබඳ නවකතාව තුළින් විවරණයට ලක් කරයි. නවකතාව ගොඩනැගෙන්නේ විවිධාකාරයෙන් පීඩාවන්ට පත් වූ ස්ත්‍රී චරිත ත්‍රිත්වයක් වටා වුවද ඒ තුළින් සමස්ත සමාජයෙම කාන්තාවන්ගේ සමාජ තත්වය නිරූපණය කරයි. ලාංකික සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයෙහි ස්වභාවය මත ස්ත්‍රිය හා පුරුෂයා ට වෙන් වෙන් වූසමාජ තත්වයන් හා කාර්ය කොටස් කිහිපයක් සංස්කෘතිය තුළින් ම නියම වී පවතී. කාන්තාව දරුවන් බිහිකිරීමින් හා හදා වඩා ගනිමින් පවුලට පමණක් සීමා වූ චරිතයක් නමුත් පුරුෂයා සමාජයට විවර වූ චරිතයක් විය. නමුත් ඇමරිකානු සංස්කෘතිය තුළ කාන්තාවට හා පුරුෂයාට සමාන තැනක් හිමි වෙයි. ඇමරිකානු සමාජය තුළ මාතෘ මූලික පවුල් එකට නිර්මාණය වීමට බලපා නේද බලපාන්නේ ද මෙකී සමාජ තත්ත්වයයි. නමුත් ලාංකික සමාජය තුළ ස්ත්‍රිය පුරුෂාධිපත්‍යයට යට වූ තැනැත්තියක ලෙස නවකතාව තුළින් හුවා දක්වයි. එබැවින් මෙම නවකතාව තුළින් කාන්තාවට සමාජය තුළ හිමි වන තත්ත්වය පිළිබඳ සමාජවාදී විග්‍රහයක් සිදු කරයි.
" පිරිමි හිතන්නේ එහෙම තමයි...... ගැහැනු අයට පැවරිලා තියෙන්නේ පවුලක් ඇතුලේ ළමයි හදාගන්න එකයි ගෙදර වියදම් අඩු පාඩු පිරිමහ ගන්න එකයි කියලා....... පවුලෙන් පිට ගත්තහම ගෑනු කෙනෙක්ට මුකුත් බැහැ කියලා.."
" ගෑනු කවදත් හැරෙන්නේ තමන් දිහාවට...... පිරිමි හැරෙන්නේ ලෝකෙ දිහාට....ඒකනෙ අපේ මහත්තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරද්දි අපි සලාද හදන්නේ...."
නවකතාවක සාර්ථක භාවය රඳා පවතින්නේ නවකතාව කියවන පාඨකයාට එය සමීප වන ආකාරය අනුව ය. එබැවින් කතුවරිය මෙම නවකතාව ගොඩනැගීමේ දී ඇමරිකාව හැබැහින් දැක නොමැති පාඨකයා තුළ පවා එහි ජීවමාන ස්වරූපයක් චිත්රණය වන ආකාරයට භාෂාව භාවිතා කරයි. මහද්වීපයක් හරහා යන මේ චාරිකාවේ දී ඔවුන්ට හමුවන සහ ඔවුන් අත්විඳින පරිසරයේ සුන්දරත්වය පාඨකයා හමුවට ගෙන යන්නේ උපමා, රූපක සහ ස්වභාවොක්ති ආදී අලංකාර යොදා ගනිමිනි. විවිධ සංස්කෘතීන් මුසුවු ප්‍රදේශයන් හරහා ගමන් කරන ඔවුන් ඒ ඒ ප්රදේශයන්ඒ ඒ සංස්කෘතීන්ට අනුව හැඩ ගත් හැඩගැසී ඇති ආකාරයමෙන් ම බාහිර පරිසරය ද ඒ ඒ සංස්කෘතීන් සමඟ හරි හරියට වෙනස් වී තිබෙන ආකාරයද කතුවරය ඉදිරිපත් කරන්නේ පාඨකයා තුළ චිත්‍ර රූප මැවෙන ආකාරයටය. චාරිකාවේ දී ඔවුන්ට හමුවෙන කඳු, නිම්න, තැනිතලා, කාන්තාරවල පමණක් නොව ගහ කොළවල පවා වර්ණයන්ගෙන් යුක්තව ඉදිරිපත් කරන්නේ නවකතාවට සජීවීකරණ ස්වරූපයක් ලබාදීමේ අරමුණෙනි. එසේම කතුවරියගෙ භාෂා භාවිතය පිළිබඳව විග්රහ කිරීමේ දී ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය උපයෝගී කරගනිමින් ගනිමින් උපමා, රූපක ඉදිරිපත් කර තිබෙන ආකාරය ද කැපී පෙනේ.මෙහි දීජංගි පොඩි අඳින වයසෙ, වම්බටු පැහැයට හැරුණු අහස ආදී භාෂා අලංකාර මෙහි දී භාවිත කරයි. මෙය කතුවරයගෙ දේශීයත්වයට නැඹුරු වූ ස්වරූපය විදහා දක්වන්නකි.
" සැඳෑ කල අහසෙනුත්, ගමන් විඩාවෙනුත් පීඩිත ව සිටි මට නිවස ඉදිරිපිට අටවා ඇති ආඬියා ළිං පෙනුණේ අපට ඔච්චම් කරන මලකඩ කෑ යෝධ යකඩ කුරුල්ලන් පරිද්දෙනි. "
" සිතිජය දම් පැහැයෙන් තැඹිලි පැහැය මුසු වූ ඕගන්දි පැහැයට හැරුණේ සවස් කල එළඹෙන බව අපට මතක් කරමිනි."
නවකතාවෙහි සිද්දිධාමයන් ගොඩනැගෙන්නෙ ඇමරිකානු සංස්කෘතිය හා ලාංකික සංස්කෘතිය කැටිකොට ගනිමිනි.එබැවින් නවකතාව ඉදිරියට ගලා යාමේදී සංස්කෘතීන් දෙකෙහි විවිධත්වය හා ඝට්ටනය මනා ලෙස පාඨකයා හමුවේ විද්‍යාමාන වේ. නවකතාවෙහි චරිත හා ඔවුන් මුහුණ දෙන අත්දැකීම් ගොඩනැගෙන්නේ මෙම සංස්කෘතීන් දෙකෙහි ඝට්ටනයෙන් ඇති වනබලපෑම නිසාවෙනි. ඇමරිකානු සංස්කෘතිය නිර්මාණය වි තිබෙන්නේ ආගමික හො වෙනයම් බලපෑමකින් මනුෂ්‍යත්වය ආවරණය නොව ලෙසය. එබැවින් මිනිසාට අසීමිත වූ නිදහසක් ඇමරිකානු සමාජයෙන් හිමිවේ. මෙකී නිදහසම ඇමරිකානු සමාජය තුළ විකෘති සංස්කෘතික ලක්ෂණ බිහි වීමට බලපා තිබේ. ලංකීය සංස්කෘතිය තුළ පවතින ආගමික හා සමාජීය බැදීම ඇමරිකානු සංස්කෘතිය තුළ දැකිය නොහැකවිම නිසාම එරට සංස්කෘතිය තුළ බැදීම් වලට හිමිවන්නේ අඩු වටිනාකමකි. එබැවින් ලාංකික සංස්කෘතිය මත හැදී වැඩුණු ඉන්දිකා, නිර්මලා සහ අරුන්දති යන චරිත ත්‍රිත්වය විවාහය නැමැති බැම්මෙන් බැඳීමට ලාංකික සංස්කෘතිය සුදුසු වන බව විග්රහ කරන්නේ මෙරට විවාහයට සංස්කෘතීයෙන් හිමිවන ශක්තිමත් භාවය නිසාවෙනි. කතුවරිය මෙවැනි විග්‍රහයක් ඉදිරිපත් කිරිමට හේතු වන්නේඇය ද ලාංකික සංස්කෘතියෙන් පෝෂණය වුණු තැනැත්තියක් නිසා විය හැක.
" මෙහි මම දන්න සුදු අය කාලයක ගිහින් හේතුවක් නැතුව දික්කසාද වෙනවා ....හරියට තරුණ කාලේ හවුළේ පටන් ගත්ත ව්‍යාපාරයක් විසුරුවා හරිනවා වගේ .....එයාලා හිතනවා ළමයි ගෙදරින් ගිහින් ඉවරයි , දැන් නිදහස තියෙනවා කැමති විදිහට අලුතෙන් ජිවිතය පටන්ගන්න කියලා."
"මට හිතෙන්නේ ලංකාවේ දී කසාදෙට වටිනාකමක් තියෙනවා කියලා....එහේ කසාදයක් රැඳිලා තියෙන්නේ ඒකට ඇති තරම් මුක්කු ගහලා තියෙන්න නිසා. මෙහි දී කිසි දෙයක් නෑ..... "
සංස්කෘතියක අගය, වටිනාකම අපට දැනෙන්නේ එම සංස්කෘතිය දෙස වෙනත් සංස්කෘතියක් තුළ සිට බලන විටය.කුමර කොබෙයි නවකතාව ගොඩනැගෙන්නේ මෙකි යථාර්ථය පසක් කරමිනි . නවකතාව නිර්මාණය වන්නේ ඇමරිකානු සංස්කෘතිය තුළ ජිවත්වන සිංහල සංස්කෘතිය මත හැදි වැඩුණු චරිත ත්‍රිත්වයක් වටා වන බැවින් ඔවුන්ගේ ජීවන දෘෂ්ටිය තුළින් මෙකී යථාර්ථය පාඨකයා වෙතගෙන හැර දක්වයි . ඇමරිකානු මහද්වීපය හරහා යන මෙම චාරිකාවේ දී ඔවුන් අත් දකින සමාජ ක්‍රමය හා මානව චර්යාවන් තුළින් සිය උපන් සංස්කෘතියේ අගය පාඨකයා වෙත විද්‍යාමාන කරයි. ඇමරිකානු සමාජ ක්‍රමය තුළ ජීවත්වන මිනිසුන්ගේ ජීවන චර්යාවන් නිර්මාණය වී ඇති අයුරු ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නේ උපහාසාත්මක ස්වරූපයකිනි. සුඛෝපභෝගී ජීවිත ගත කරන ඇමරිකානුවන්ගේ ඒකාකාරී ජීවිතය දෙස කතුවරිය යොමන්නෙ සිරකුටියක ජිවත්වන්නන් දෙස යොමන බැලීමකී. ලාංකික සමාජ ක්‍රමය තුළ පවතින විදිමට හැකි සංස්කෘතියක් ඔවුන් තුළ නොමැති බව මෙයින් විග්රහ වේ.
"මේ මිනිස්සුන්ට තියෙන්නේ කිසිම ලස්සනක් නැති ජීවිත ...... රස්නෙ කාලෙට ශීත කරපු ගෙක ඉන්නවා. ශීත කාලෙට උණුසුම් කරපු ගෙදරක ඉන්නවා. කකුලේ දූවිලි බිංදුවක් ගෑවෙන්නේ නැතුව වාහනයක නැගලා වැඩට යනවා. පඩිය බැංකුවට යනවා ගෙදර බිල් ටික බැංකුවෙන් ගෙවෙනවා. "
" හොඳ හිතල බලන්න අපි ලංකාවේ ඉපදෙන්නෙ නැතිව මේ රටක ඉපදුනා නම් අපේ ජීවිතවල ලස්සනක් තියෙනවද?.."
ශාමෙල් ජයකොඩි මහත්මිය කුමර කොබෙයි නවකතාව රචනා කිරීම තුළින් බලාපොරොත්තු වූයේ සමාජය තුළ හා පවුල් ජීවිතය තුළ විවිධ තාඩන, පීඩන හා හැල හැප්පීම් වලට ලක්වුණු කාන්තාවන් ඒවාට යටත් නොවී ජීවිතයට යථාර්ථවාදී ලෙස මුහුණ දෙන ආකාරය පාඨකයා හමුවේ ගෙන හැර දැක්වීමයි. නවකතාවේ පරමාර්ථය දිගහැරෙන්නේ ඉන්දිකා සිය පෙම්වතා හමුවීම සඳහා නිර්මලා හා අරුන්දතිය සමඟ ඇමරිකානු මහද්වීපය හරහා යන චාරිකාවේනි. චාරිකාව අතරවාරයේ දී එකිනෙකා තුළින් විවරණය වන ආත්ම කථනය නවකතාව ගලා යාම සඳහා පාදක වේ. අවිවාහක ස්ත්‍රීයක වු ඉන්දිකා හා පවුල් සංස්ථාව අසාර්ථක වු නිර්මලා හා අරුන්දතී ද තමන් තුළට පැමිණි සිර කුටීරය බිද දමා ස්ත්‍රී අධ්‍යාත්මයට පිවිසීමට ඔවුන් ගත් වෙහෙසකර උත්සාහය නවකතාවේන් නිරුපනය වේ. ඉතිහාසය හා වර්තමාන එකිනෙකට යා කරමින් ජිවිතයේ ලද වැටිම්, නැගිටිම් මෙන්ම ජය පරාජයන් ද පිළිබඳ ව කතුවරිය විවරණයක යෙදෙන්නේ එ තුළින් පාඨකයාට ජිවිතයේ යථාර්ථය පසක් කරමිනි. විවාහ ජීවිතයේ අඳුර වසාගත් ජීවිතයක් ඇති නිර්මල හා අරුන්දතී විවාහාපේක්ෂිත මිතුරිය ධෛර්යමත් කරමින් විවාහ ජීවිතය තුළ ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ හැඩතල සියල්ලම ඉන්දිකාට විග්රහ කරන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමට හැකිසේ අවකාශ සලසා දීමට ය. එසේම පවුල් සංස්ථාව තුළ කාන්තාවට මුහුණ පෑමට සිදු වන විවිධාකාර වූ ප්‍රශ්න ගැටලු මෙන්ම ඒවා යටපත් කර ගනිමින් ජීවිතයට සාර්ථකව මුහුණ දෙන ආකාරය නවකතාව තුළ නිර්මලd හා අරුන්දතී ගේ චරිතයන් තුළින් පිළිබිඹු වේ. එසේම ලාංකික සමාජ ක්‍රමය හා ඇමරිකානු සමාජ ක්‍රමය තුළ විවාහය හා පවුල් එකකය පිළිබඳ නවකතාව තුළින් කෙරෙන විග්‍රහය සමාජ දෘෂ්ටිකෝණයකින් විවරණය වේ.
කතුවරිය නවකතාව ගොඩනගන්නේ බටහිර සමාජ ක්‍රමයෙන් තමන් ලද අද්දැකීම් පදනම් කරගනිමිනි. විදෙස්ගතව ජිවත් වන ඇය එහිදී අද්දකින ලද ලාංකිකයන්ගේ ජිවන රටාවන් හා ඔවුන් බටහිර සංස්කෘතියට මුසුවේම්න් ජිවත්වන ආකාරයත් නවකතාව තුළින් විදහා දක්වයි. සිංහල සංස්කෘතිය තුළ හැදි වැඩුණු මිනිසුන් බටහිර සංස්කෘතිය තුළට මුසුවීමට ගන්නා උත්සාහයත්, ඇතමුන් බටහිර සංස්කෘතිය තුළ ජිවත්වෙමින් ලාංකික සංස්කෘතියේන් සිතන පතන ආකාරයත් මෙන්ම කිසිදු අරමුණක් රහිතව සංස්කෘතීන් දෙකකට මැදිව ජීවිතයට ඔහේ ගලා යාමට ඉඩ සලස්වන අකාරයත් නවකතාව තුළින් විවරණය කරයි. නවකතාවේ සාර්ථකභාවය රඳාපවතින්නේ එය පාඨකයා වෙත යථාර්ථවාදී ස්වරූපයකින් ඉදිරිපත් කිරීමෙනි. උපමා, රූපක, ස්වාභාවෝක්ති, ප්‍රාදේශීය බස්වහර ආදි අලංකාර භාවිතා කරමින් නවකථාවෙහි චරිත වල ස්වභාවය හා භෞතික පරිසරය චිත්‍ර රූප මැවෙන ආකාරය නිරූපණය කරයි. නවකතාව කියවීමේ දී පාඨකයාට විද්‍යාමාන වන එක් කරුණක් වන්නේ කතුවරිය නවකතාව ගොඩනගා ගන්නේ ඇමරිකානු සංස්කෘතිය හා ලාංකික සංස්කෘතිය කැටි කරගනිමින් වුවද ඒ තුලින් ලාංකික සංස්කෘතියේ වටිනා කම හුවා දක්වන බවයි. මේ අනුව විමසා බලන විට කුමර කොබෙයි නවකතාවේ සමස්තයෙන් ම විග්රහ වන්නේ කොදෙව්වක ජීවත් වුවද මහද්වීපයක ජීවත් වුවද මිනිසුන් ගේ ජීවිතයේ ස්වභාවය තීරණය වන්නේ ඔවුන් ජීවිතයේ විඳින ආකාරය හා ජීවිතය භාර ගන්නා ආකාරය අනුව වන බවයි.
ශාමින්ද ලක්මාල්..
මරු බං
ReplyDelete👍👍👍
ReplyDeleteBest
ReplyDeleteGood 👍
ReplyDelete👍👍👍👍💜️
ReplyDelete👌👌
ReplyDeleteEka fattaa
ReplyDelete